Monday, November 23, 2015

අසම්පූර්ණ කතාව 02

 අසම්පූර්ණ කතාව 01
 
අතීතේ කුණු කන්දල් අවුස්සලා දුක් වෙන්න ඕනෙ නෑ කියල හිතපු ඈත දවසක පරණ ඩයරි ටික ඔක්කෝම එකතු කරල කාඩ්බෝඩ් පෙට්ටියකට දාල වහල දැම්මට මෑත කාලෙ යාළුවෙක්ගෙ නොම්බරයක් හොයාගන්න ඕනෙ වුන වෙලාවක ඒ ඩයරි ටික එළියට  ඇදගත්තත් ආයෙ ඇතුලට දාන්න බැරි වුනා. හැමදාම ඩයරි ටික දකිද් දි එදා අහම්බෙන් කියවපු පිටුවම මතක් වෙන නිසා ආයෙත් ඒ අතීතයටම හිත දුවන්නෙ මටත් නොදැනිම. වැඩ ඇරිල ගෙදර ඇවිත් ඇඟ පත සෝදගෙන ඇඳට ආවත් හිතේ පරණ දේවල් ආයෙ ආයෙ මැවිල පෙනෙද් දි මමත් ආයෙත් පරණ ඩයරි ටික ලඟට කරගෙන පිටු පෙරළන්න ගත්තෙ ඉස්සර වගේ මතක් කර කර අඩන්න තරම් ඒ අතීතය මට දැන් අලුත් දයක් නොවුන නිසා.
                              

එදා ජූස් බාර් එකෙන් එළියට ආපු මං ගෙදර ගියේ ඔයා ලග නවතින්න කියල හිත කෑ ගහලා කියද්දි. ඒත් මං දැනන් හිටියා අපි දෙන්න ට කවදාවත් අනාගතයක් ගැන එකට හීන මවන්න බැරි බව. අපි යාලු වුනත් ඒක තාවකාලික යාලු කමක් විතරක් වුනොත් මං කොහොම හිත හදාගන්න ද කියන බය මගෙ හිතේ තිබුනා. ඔය දේවල් හිත හිත ගෙදර ගියපු මට එදා මූණ දෙන්න වුනෙත් මහ අවාසනාවත සිද්ධියකට. මං
 ගෙදරින් එළියට ආපු ටිකට අපේ අක්කි ඉන්දුලට කතා කරල කේලම කියලා තිබුනා. ඒ වෙනකොටත් ඉන්දුල ගෙදර ඇවිත් හිටියෙ මාව එක්කන් එන්න සරසවියටත් ගිහින් කියලා මං දැනගත්තෙ ගෙදර වුන කතාබහෙන්.

"ඇයි බබා මාව බය කරන්නෙ? ඔයා හොදටම දන්නවනෙ ඔයා තනියම පාරවල් ගානෙ රස්තියාදු වෙනවට මං කමතිනෑ කියලා. අක්ක කිව්වම සරසවියට ගියා කියලා මං ඔක්කොම වැඩ පැත්තකට දාල ඔයාව ගන්න එතනට යද්දි ඔයා එතන හිටියෙ නැති උනාම මං කොච්චර බය උනාද? ඔයා ඇත්තටම කොහෙද ගියෙ? ගෙදර අයටවත් කියල යන්න තිබුන නේද? ඇයි ඔය තරම් මුරණ්.."
එතනින් එහාට ඒ විකාර මට අහන් ඉන්න තරම් උවමනාවක් තිබුනෙ නෑ.

"මං සරසවියෙ ඉද්දි මට යාලුවෙක් ව හමබ උනා. ගොඩකාලෙකින් හම්බුන නිසා ජූස් බාර් එකට ගිහිල්ල ජූස් එකක් බොන ගමන් කතා කරා.ඒකෙ වැරද්දක් නෑ නෙ. අනිත් එක ඔයා මං ගැන ඔය තරම් බය වෙන්න මං මොන්ටිසෝරි බබෙක් නෙමෙයි. මෙච්චරකලුත් මං තනියම තමයි මගෙ වැඩ වලට ටවුන් එකට ගියේ." මූණ බලන්න තරම්වත් ඕනෙ කමක් නොතිබුන නිසා මං වැඩිය ගනන් නොගෙන එහෙම කියාගෙනම කාමරේට යන්න හැදුවත් අක්ක පුරුදු විදියටම මහ හයියෙන් කෑ ගහන්න ගත්තෙ තාත්තිවත් අවුස්සවගන්න ඕන කමට.

"ජූස් බාර් එකට ගියා නම් ගෙදරට කතා කරල පරක්කු වෙනවා කියලවත් කියන්න තිබුනෙ නැද්ද? මේ කොල්ල නිකම් රස්තියාදු උනා. ඔයාට නිකමට ඉන්දුලට කෝල් එකක් දෙන්න බැරි උනාද? බදින්න ඉන්න කොල්ල නේද?"

"මොන කරදරයක්ද මේක? මං කිව්වනෙ මට කාවවත් බදින්න ඕනෙ නෑ. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ඔයාට ඕනෙ නම් ඔයා බැද ගන්න. මීට වඩා වෙළා ගිහින් මං ගෙදර ඇවිත් නැත්ද? තාම හතරහ මාරයි නෙ.

"චූටි දුව කටවහගන්නවා." තාත්ති කුස්සිය පැත්තෙ ඉදන් ආවෙ අක්කගෙ සද්දෙ නිසා
"වරද කරල තව කියවන්නත් එනව."

තවත් එතන හිටියොත් වෙන්නෙ බැනුම් අහල විතරක් නතර නොවෙන එක කියල දැනුන නිසා මං හිමින් සීරුවෙ වොශ් එකක් දාගන්න ගියා. සෙනසුරාද පුරුද්දක් විදියට හවසට මල් වලට වතුර දාන්න ගන්න නිසා එදත් මං මිදුලට බැස්සෙ මල් වලට වතුර දාන්න. ඒ වෙද්දි ඉන්දුල අක්කිත් එක්ක කැරම් ගහනවා. මං හෝස් එක අරන් මල් පැළ වලට වතුර දාන්න පටන් ගත්තා. ටික වෙළාවකින් ඉන්දුල ත් මං ලගට ඇවිත් රෝස් මල් පාත්තිය දිහා බාලාගෙන ඉන්නව මං ඇස් කොනෙන් දැක්කත් නොදැක්ක වගේ හිටියා.

"බබා, ඔයා මාත් එක්ක තරහද?"
මං නෑහුන ගානට ඉන්දුලට පිටුපාලා මල් වලට වතුර දානවා.

"කතාකරන්නකො ඉන්දු.. මාත් එක්ක තරහෙන් ද තාම"

"තරහ වෙන්න යාලු වෙලා හිටියෙ නෑ නෙ, පාඩුවෙ ඉන්නවද මට වැඩක් කරගන්න දීලා" මං අහක බලාගෙනම උත්තර දුන්න.

"ඔයාගෙ හොදටනෙ කියන්නෙ, ඔයාට ජූස් බොන්න හරි සරසවියට යන්න හරි ඇඳුම් ගන්න හරි ඕන දේකට මට කියන්න. මං එක්ක යන්නෙ නැතිව ඉන්නෙ නෑ නෙ. මට දුක ඔයා කිසිම දේකට මාව හවුල් කරගන්නෙ නැති එකට. ඔයා යාලුවො ආශ්‍රය කරන එක මට ප්‍රශ්ණයක් නෑ. වෙළාවක ඔයාගෙ යාලුවො ටිකත් එකතු කරන් අපි කොහෙ හරි රවුමක් දාමු. එතකොට මටත් ඔයාගෙ යලුවො අදුරගන්න.."

"ඇයි මගෙ යාලුවො අදුරගෙන ඔයා මොනා කරන්නද? තේරුමක් නැති දේවල් කතා කරන්න එපා"
"මං කීපාරක් නම් කියල තියෙනවද, ඔයා ඔය හිතේ තියාගෙන ඉන්න දේවල් වලට මං කැමති නෑ. කවදාවත් මං ඔයාව බදින්නෙ නෑ. කවුරු කොහොම මොනවා කිව්වත් ඒ දේ වෙන්නෙ නෑ. "

"හරි හරි බබා, අපි ඒ කතාව නවත්තමු. ඒක නෙමෙයි කෙල්ලෙ.. මේ රතු රෝස මල හරි ම ලස්සනයි මං ආසම රෝස් මල් වලට, අන්න අක්ක ගාව තියෙන පත්තරෙත් තියෙනව රෝස් මල් වලට ආස අය ගෙ හිත් රෝස් මල් වගෙ මුදු යි කියලා. මමත් ඒ වගේ වෙන්න ඇති ඒ නිසා. ඔයත් ආස රෝස් මල් වලට නේද? ඇදල පැදලා එහෙම අහන ගමන් ඉන්දුල මගෙ රතු රෝස ගහේ පිපිලා තිබුන රෝස මල දිහාට අත දික් කරේ මලක් කඩා ගන්න."

"මොකද කරන්නෙ, නිකම් අපරාදෙ මල් කඩන්න එපා, රෝස මල් ගැන නම් මන් දන්නෙ නෑ. හැබැයි මං ආසම කොච්චි මිරිස් වලට. ඒක නිසා කොච්චි පැළ වලට තමයි හැමදාම මුලින් වතුර දාන්නෙ, පේනවනෙ." ඒ වෙළාවෙ අහම්බෙන් වගේ කොච්චි පැළ වලට වතුර දදා හිටපු නිසා කිව්වට ඇත්තටම මං කොච්චි සුවදට ආසයි.

ඉතිරි මල් පැල ටිකට ඉක්මනට වතුර දාල ඉවර කරේ තව මොන මොනවදෝ කියව කියව පස්සෙන් පාරෙන් කැරකෙන ඉන්දුලව ඉක්මනට මඟ අරින්න ඕනෙ නිසා. ඒ එක්කම කොච්චි ටිකක් කඩාගෙන ගේ ඇතුලට යන්න හැරුනෙ රෑට කන්න රොටි හදනවා කියලා අම්ම කියපු නිසා කොච්චි දාල හොද සම්බෝලයක් හදා ගන්න හිතාගෙන. කුස්සියට යනකොටත් අම්මා වැඩ පටන්ගෙන. මාත් කොච්චි ටික සෝදලා අරන් අනිත් අඩු වැඩියත් ලෑස්ති කරගන කොච්චි ටික කොටන්න ගත්තා. ඒ අතරෙ ඉන්දුල කුස්සියට ආව බව මං දැක්කෙ නෑ.

කවුදෝ පිටිපස්සෙන් හිටන් ඉන්නව කියල තේරෙද්දි කොටපු කොච්චි ටික පීරිසියකට මාරු කරන ගමන් හිටපු මට ඉඹේටම පස්ස හැරිලා බැලුනා. හරියටම මගේ ඇගේ ගෑවී නොගැවී හිටිය ඉන්දුලගෙ අත තිබුනෙ හරවපු මූණට වදින්න ඔන්න මෙන්න. නොහිතපු වෙළාවක මගේ මූණට ලං වෙන අත අහක් කරන්නයි ඇගේ ගැවී නොගැවී ඉන්න ඉන්දුලගෙන් ඈත් වෙන්නයි ඕනෙ නිසා මමත් එකපාර මගෙ අතින් ඉඳුලව තල්ලු කරා. නොහිතපු විදියට කොට කොට හිටපු කොච්චි මිශ්‍රනේ ගෑවිච්ච මගෙ අත ඉඳුලගෙ මූණෙ වැදුනෙ දකුණු ඇහැ හරියට වෙන්න. ඒ දැවිල්ලට ඉන්දුලගෙ ඇස් වලින් දුම් පිටවුනෙයි එක පාරට කෑගැහුනෙයි, බය වෙච්ච පාර අනේ මං  හිතලා කලේ නෑ කියල මට කියවුනෙයි ඒ එක්කම පස්සට කරගත්ත අත වැදිලා පීරිසිය මහ සද්දෙට බිම වැටිලා කෑලි කෑලි වලට කැඩිලා ගියෙයි එකම වෙළාවෙ.

"මොකද්ද ඔයා කලේ, ම්හ්හ්..ආ.. අම්මා.. ඉන්න බෑ. මගෙ ඇහැ හොදටම දැවිල්ලයි"

අම්මත් ඒ වෙනකොට රොටි හැදිල්ල පැත්තක දාල අපි දෙන්න හිටපු තැනට ඇවිත් හිටියෙ. පීරිසිය බිදුන සද්දෙයි ඉන්දුලගෙ සාස් සූස් සද්දෙටයි තාත්තයි අක්කයි දෙන්නත් කුස්සියට ආවා.

"මොකද්ද චූටි දුව මෙතන වුනේ" තාත්ත ඉඳුලගෙ උරහිස උඩින් අතක් තියන ගමන් මගෙන් අහද්දිත් ඉන්දුලගෙ දකුණු ඇහැ හොදටම රතු වෙලා ඇස් දෙකෙන්ම කඳුලු බේරෙනවා.

"නෑ නෑ මේ ළමයගෙ ඇහැට කොච්චි ගෑවුන, චූටි දුව හිතල කරපු දෙයක් නෙමෙයි අනේ, කෝ මූණ හොදට සෝදගත්තනම් ඕක හරියනවා" අම්ම මාව බේරගන්න ඉදිරිපත් වුනත් තාත්ත ගෙ කේන්තිය ඇවිස්සෙන්න ඉන්දුලගෙ ඇහේ කඳුලු ටික හොදටෝම ඇති බව මං දැනන් හිටියා. මගෙ දකුණු අතේ ඇඟිලි වල තැවරිලා තිබුන කොච්චි මිශ්‍රණය දැක්ක ගමන් තාත්ත හිතන්නෙ මං ඕන කමින් ඒ දේ කරපු බව කියලා තාත්තගෙ මූණෙ තිබිච්ච ඉරියවු වලින් හොදටම පැහැදිලිව පේද්දි මීට දවස් හතරකට කලින් බෙල්ට් එකෙන් ගහපු පාරවල් වලට නිල් වුන තැළුම් පාරවල් මැකෙන්නත් කලින් ආයෙත් ගුටි වරුසාවක් ලැබෙනවා කියන දේ අකුණක් ගැහුවා වගෙ මගේ හිත මට කියද්දි බයටම මගෙ ඇස් ඉබේටම වැහුනා.

 වැහෙන ඇසි පිය අතරින් තාත්ත ඉන්දුලගෙන් ඈත් වෙලා මං ළගට එනවා මට පෙනුනා. ඒ එක්කම ඔලුව ගැලවෙන්න තරම් හයියෙන් කොන්ඩෙන් ඇදෙද්දි මං ඇස් වහගෙනම එක අතකින් ඔලුව අල්ලගත්තා. ඒ එක්කම මොකද්දෝ බර දෙයකින් මගෙ පිට හරහා පාරවල් වදිද්දි අම්මා මාව බේරගන්න තාත්ත එක්ක ඔට්ටු වෙනවා මට හීනෙන් වගේ ඇහුනා. එක පාර ග්‍රහනය ලිහිල් වෙනාවා තේරෙනවත් එක්කම පිට හරහා වැදුනා පාරවල් වල සැරට සමබරතාවය නැතිව පාවෙනවා වගේ මට දැනුනා. ඔව්, ඇත්තටම මාව පාවෙලා ගියා. ඒ අතරෙ හීනෙන් වගේ අම්මගෙ කටහඩ කන ලගින් ඇහෙද්දි "හොද වැඩේ නපුරු කම් කරනවට, අම්ම තමයි මෙයාව නරක් කරන්නෙ..ඔය.. අක්ක මොන මොනවදෝ කියවනවත් හීනෙන් වගේ මට ඇහුනත් ඇස් ඇරගන්න බැරි මොකද්දෝ බර ගතියක් ඇස් පියන් උඩ මට දැනුනා. ඊළග මිනිත්තු ගාන මොකද වුනේ කියලා මට මතකයක් නෑ.

මට සිහිය එනවා රෝහල් කාමරයක් ඇතුලෙ ඇඳක් උඩ දි. ඔව් මගෙ අම්ම මගෙ ඇඳ ලඟම ඉදගෙන ඉන්නවා. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන. වුනේ මොනවද කියලා ලාවට මතක් වෙද්දි වදෙන් පොරෙන් හිත වහල දලා කිසි දෙයක් නොවුන ගානට අම්ම එක්ක හිනා වුනේ දේවල් මතක් වෙද්දි මගෙ ඇස් වලට එන කඳූලු කැට මගෙ අම්මගෙ පපුවෙ තියෙන ගින්දර ට තවත් පිදුරු ගුලියක් වෙන බව දන්න නිසා.

"ඇයි අම්ම මේ? ඔයා දුක් හිතන්න එපා. මට අමාරුවක් නෑ. ඇයි බොරුවට මාව මෙහෙට එක්කන් ආවෙ? කවද වෙනකන් ඉන්න වෙයි ද දන්නෙ නෑ,මෙයාලට ඕනෙ සල්ලි නෙ" අමාරුවෙන් ඒ වචන ටික කියා ගත්තත් ඒ වෙද්දි මගෙ ඔලුව හොදටෝම රිදෙනවා.

අම්මා කිසිදෙයක් නොකියා හිනා වෙලා මගෙ ඔලුව අත ගෑවා. ඒ එක්කම ඊට ටිකක් එහා පැත්තෙන් ටිකක් ඈතට වෙන්න කවුදෝ ඉන්නව කියලා ඡායාව විතරක් පෙනුනත් මට හරි හැටි පැහැදිලිව පෙනීමක් තිබුනෙ නෑ. ඒ දිහා මං තවත් ඕන කමින් බලද්දි ඒ රූපෙ මං ළගට එනවා කියලා මට දැනුනා.

"අයියා.., කියාගන්න බැරි සතුටක් හිතේ ඉපදෙද්දි අඩියට දෙකට ඇදෙන් බැහැල පුන්චි කාලෙ වගේ අයියව බදා ගන්න නොහිතුනා නෙමෙයි. ඒත් ඒ තරම් ශක්තියක් මගෙ ඇගේ ඉතිරි වෙලා තිබුනෙ නෑ.

"අයියා, කොයි වෙලෙද ඔයා ආවෙ" මං අයිය දිහාට දික් කරපු අත තද කරලා අල්ලගන්න ගමන් අයිය මට ලං වෙලා මගෙ අත පපුවට තුරුලු කරගත්තා. ඒ ඇස් දෙකේ ලියවිල තිබුන දුක තේරුම් ගන්න අමුතුවෙන් වචන ගලපන්න ඕනෙ වුනෙ නෑ මට. පුන්චි කාලෙ මට තුවාලයක් වුනත් වැඩිපුරම කලබල වුනේ අයියා. එහෙම තියෙද්දි  එදා මාව  එහෙම දැක්කම අයියාට මොනව නොහිතෙනවා ඇත්ද.
ඒත්.. ඒත් ඒ ඇස් වලට යටින්  ඊට වඩා දුකක් හැන්ගිලා තිබුනා කියලාමයි මගෙ හිත මට කිව්වෙ. ඔව්. අයියා මං ලඟ හිටිය නම් මට කවදාවත් මේ විදියට ගුටි කන්න ඉඩ තියන්නෙ නෑ නේද කියල හිතල දුක් වෙනවා ඇති කියල මං ඒ වෙලේ හිතුවා.

"අයියා මෙච්චර ඉකමනට ආවද? අනේ මාව ආයෙ දාල යන්න එපා අයියෙ, දවස් දෙක තුනක් වත් නවතින්නකො.." පුන්චි කාලෙදි අයිය ලග ඉන්නකොට දැනෙන සහනය තරම්ම සහනයක් එදත් මට දැනුනා. ඒ වෙනකොටත් අයියා කිසි දෙයක් නොකියා මගෙ අත එයාගෙ පපුවට තුරුලු කරගෙන මගෙ ඔලුව අතගානවා. මට අයිය දිහා බලාගෙනම ආයෙ නින්ද යන්න ඇති.. ඔව් මං දවස් ගානකට පස්සෙ හිත සැනසීමෙන් නිදාගත්ත එදා.

21 comments:

  1. තවත් සුජීව පසන්නාරචි කෙනෙක් වෙඉද???

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ සුජීව ප්‍රසන්නාරච්චි?
      දිග....ට ලියන නිසාවෙන්න ඇති..
      දිග වැඩී වගේද ලලිත් අයියා?

      Delete
  2. අඩේ මං එක්වෙලා .

    ReplyDelete
    Replies
    1. හි හි.. වතුර බාල්දියක් මගේ ගානෙ මාන්සියට..

      Delete
  3. එයාගේ ඉස්ටයිල් එකත් මේ හා සමානයි. දිග වැඩියක් නැ ඒත් මම මුලින් බලපු එක (සපත්තුවෙ කථාව ) ගොඩක් හොදයි. එක තව කොටස් ලියනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එකෙත් එකක් ලියමු එහෙනම්. ඉතුරු සපත්තුවට මොකද වුනේ කියලා..

      Delete
  4. කථාව ලස්සනයි. ඇත්ත කථාවක් නිසා සංවේදීයි

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලියන්න ගියොත් මේක ඇත්තටම එපා වෙන කතාවක් වෙයි. ඒ නිසා මූලිකම ටික දාල ඉවර කරනවා.

      ස්තූතියි ඉයන් අයියා. මට ඉයන් අයියගෙ නමයි ඉවාන් අයියගෙ නමයි පැටලෙනවා නෙ

      Delete
  5. ලස්සන සංවේදි කතාවක්

    ReplyDelete
  6. ඩ්‍රැකියානි යි මායි අතරෙ මෙව්ව එක පටං ගත්ත දා ඉඳං ඩ්‍රැකියානි ඩයරියක් ලියල තිබ්බා. පස්සෙ අපි බඳින්න තීරණය කළාම ඩ්‍රැකියානිගෙං මං ඒක ඉල්ලගත්තා. ඒකෙ අන්තිම හරිය කියවද්දි මට ඇත්තටම කඳුළු ආව. (පිරිමි අඬන්නෙ හරි අඩුවෙන්. මගෙ හොඳම යාළුව වෙච්ච මගෙ තාත්ත මැරිළත් මං ඇඬුවෙ නෑ.) මේ කොටසෙ මුල කියවද්දි මට මතක් උනේ ඒක.

    ReplyDelete
    Replies
    1. මාත් පුරුද්දක් විතර ඩයරි ලියනවා. මටත් ඒ කාලෙ ඔය විදියටම ආසවක් තිබුන කවද හරි අර ලියපු ඩයරි ටික ඒකේ වැඩිපුරම ලියවුන කෙනාටම බදින දවසට දෙන්න.. ඒත් ඉතින් ඒකත් හැබෑ නොවෙන තවත් එක හීනයක්.

      ඩ්‍රැකියාන්නි අක්කා වාසානවන්තයි. කෙල්ලෙක්ගෙ හිතේ තියෙන දෙයක් කියවලා ඒ හැගීම් තේරුම් ගෙන සංවේදී වෙන්න පුලුවන් කොල්ලෙක් හම්බුන එකට. දෙන්නටම සුභ පතනවා. ආ ඩ්‍රැකී බබාටත් එක්කම..(කේක් නොදුන්න එක වෙනම කතාවක්)

      Delete
  7. මං එහෙම අර අයිය උනානං, ඊළඟ ඇඳේ ඉන්නෙ අර මරුමුස් මූසලයා... අම්මප.!

    ReplyDelete
    Replies
    1. අයිය එයාට සැහෙන්න තේරුම් කළා. හොදින් සහ නරකින්. ඒත් ඒ හැමවෙළාවෙම ඒ කේළම අපේ තාත්තට කිව්වම මටම තමා විදවන්න වුනේ.

      Delete
    2. මම මූසලය කිව්වෙ, තමංගෙ දුවට සිහි නැතිවෙන්න ගහන්න පුලුවන් වෙච්ච තාත්තයි කියන එකාට.

      Delete
    3. තාත්තිට කේන්ති ගියාම එයා කරන දේ එයාවත් දන්නෙ නෑ ඩ්‍රැකී අයියා. ඒ එයාගෙ හැටි.

      Delete
  8. තාත්තා කෙනෙකුට මේ වගේ දේවල් කරන්ට පුළුවන්ද කියලා හිතා ගන්ටවත් අමාරුයි...

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ මතේම ඉන්න කෙනෙක්ට ඒ මතේම අනිත් අයගෙ ඔලුවටත් ඒ දේම ඔබන්නයි ඕන කරන්නෙ. අනිත් අයගෙ හැගීම් දැනෙන්න තරම් සමහරුන්ගෙ හදවත් සංවේදී නෑ චතුරංග

      Delete
  9. අටම අයියව එවන්නද ඔයාගෙ තාත්තට දෙකක් අන්නවන්න? තාත්තට ගහගන්න පුලුවන්ද? එහෙනම් මෙන්ඩ අංකල්වත් එවන්නම් ගහනකොට දුවන්න.

    ReplyDelete
    Replies
    1. අටම් අයියා චන්ඩිය ද ඉයන් අයියා? අපේ තාත්ති ගෙදර ඇරෙන්න වෙන තැන් වල ගහ ගන්නවා නම් දැකලා නෑ. ඒත් කේන්ති නම් යනවා තැනක් නොතැනක් නතිව. ඒ එයාගෙ හැටි ඉයන් අයියා.

      මෙන්ඩා අයිය හුසේන් බෝල්ට් ගෙ මල්ලි ද? :P

      Delete
    2. මෙන්ඩ දුවන්නෙ හුළං හමන අත බලලා...

      Delete