Monday, November 23, 2015

අසම්පූර්ණ කතාව 02

 අසම්පූර්ණ කතාව 01
 
අතීතේ කුණු කන්දල් අවුස්සලා දුක් වෙන්න ඕනෙ නෑ කියල හිතපු ඈත දවසක පරණ ඩයරි ටික ඔක්කෝම එකතු කරල කාඩ්බෝඩ් පෙට්ටියකට දාල වහල දැම්මට මෑත කාලෙ යාළුවෙක්ගෙ නොම්බරයක් හොයාගන්න ඕනෙ වුන වෙලාවක ඒ ඩයරි ටික එළියට  ඇදගත්තත් ආයෙ ඇතුලට දාන්න බැරි වුනා. හැමදාම ඩයරි ටික දකිද් දි එදා අහම්බෙන් කියවපු පිටුවම මතක් වෙන නිසා ආයෙත් ඒ අතීතයටම හිත දුවන්නෙ මටත් නොදැනිම. වැඩ ඇරිල ගෙදර ඇවිත් ඇඟ පත සෝදගෙන ඇඳට ආවත් හිතේ පරණ දේවල් ආයෙ ආයෙ මැවිල පෙනෙද් දි මමත් ආයෙත් පරණ ඩයරි ටික ලඟට කරගෙන පිටු පෙරළන්න ගත්තෙ ඉස්සර වගේ මතක් කර කර අඩන්න තරම් ඒ අතීතය මට දැන් අලුත් දයක් නොවුන නිසා.
                              

එදා ජූස් බාර් එකෙන් එළියට ආපු මං ගෙදර ගියේ ඔයා ලග නවතින්න කියල හිත කෑ ගහලා කියද්දි. ඒත් මං දැනන් හිටියා අපි දෙන්න ට කවදාවත් අනාගතයක් ගැන එකට හීන මවන්න බැරි බව. අපි යාලු වුනත් ඒක තාවකාලික යාලු කමක් විතරක් වුනොත් මං කොහොම හිත හදාගන්න ද කියන බය මගෙ හිතේ තිබුනා. ඔය දේවල් හිත හිත ගෙදර ගියපු මට එදා මූණ දෙන්න වුනෙත් මහ අවාසනාවත සිද්ධියකට. මං
 ගෙදරින් එළියට ආපු ටිකට අපේ අක්කි ඉන්දුලට කතා කරල කේලම කියලා තිබුනා. ඒ වෙනකොටත් ඉන්දුල ගෙදර ඇවිත් හිටියෙ මාව එක්කන් එන්න සරසවියටත් ගිහින් කියලා මං දැනගත්තෙ ගෙදර වුන කතාබහෙන්.

"ඇයි බබා මාව බය කරන්නෙ? ඔයා හොදටම දන්නවනෙ ඔයා තනියම පාරවල් ගානෙ රස්තියාදු වෙනවට මං කමතිනෑ කියලා. අක්ක කිව්වම සරසවියට ගියා කියලා මං ඔක්කොම වැඩ පැත්තකට දාල ඔයාව ගන්න එතනට යද්දි ඔයා එතන හිටියෙ නැති උනාම මං කොච්චර බය උනාද? ඔයා ඇත්තටම කොහෙද ගියෙ? ගෙදර අයටවත් කියල යන්න තිබුන නේද? ඇයි ඔය තරම් මුරණ්.."
එතනින් එහාට ඒ විකාර මට අහන් ඉන්න තරම් උවමනාවක් තිබුනෙ නෑ.

"මං සරසවියෙ ඉද්දි මට යාලුවෙක් ව හමබ උනා. ගොඩකාලෙකින් හම්බුන නිසා ජූස් බාර් එකට ගිහිල්ල ජූස් එකක් බොන ගමන් කතා කරා.ඒකෙ වැරද්දක් නෑ නෙ. අනිත් එක ඔයා මං ගැන ඔය තරම් බය වෙන්න මං මොන්ටිසෝරි බබෙක් නෙමෙයි. මෙච්චරකලුත් මං තනියම තමයි මගෙ වැඩ වලට ටවුන් එකට ගියේ." මූණ බලන්න තරම්වත් ඕනෙ කමක් නොතිබුන නිසා මං වැඩිය ගනන් නොගෙන එහෙම කියාගෙනම කාමරේට යන්න හැදුවත් අක්ක පුරුදු විදියටම මහ හයියෙන් කෑ ගහන්න ගත්තෙ තාත්තිවත් අවුස්සවගන්න ඕන කමට.

"ජූස් බාර් එකට ගියා නම් ගෙදරට කතා කරල පරක්කු වෙනවා කියලවත් කියන්න තිබුනෙ නැද්ද? මේ කොල්ල නිකම් රස්තියාදු උනා. ඔයාට නිකමට ඉන්දුලට කෝල් එකක් දෙන්න බැරි උනාද? බදින්න ඉන්න කොල්ල නේද?"

"මොන කරදරයක්ද මේක? මං කිව්වනෙ මට කාවවත් බදින්න ඕනෙ නෑ. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ඔයාට ඕනෙ නම් ඔයා බැද ගන්න. මීට වඩා වෙළා ගිහින් මං ගෙදර ඇවිත් නැත්ද? තාම හතරහ මාරයි නෙ.

"චූටි දුව කටවහගන්නවා." තාත්ති කුස්සිය පැත්තෙ ඉදන් ආවෙ අක්කගෙ සද්දෙ නිසා
"වරද කරල තව කියවන්නත් එනව."

තවත් එතන හිටියොත් වෙන්නෙ බැනුම් අහල විතරක් නතර නොවෙන එක කියල දැනුන නිසා මං හිමින් සීරුවෙ වොශ් එකක් දාගන්න ගියා. සෙනසුරාද පුරුද්දක් විදියට හවසට මල් වලට වතුර දාන්න ගන්න නිසා එදත් මං මිදුලට බැස්සෙ මල් වලට වතුර දාන්න. ඒ වෙද්දි ඉන්දුල අක්කිත් එක්ක කැරම් ගහනවා. මං හෝස් එක අරන් මල් පැළ වලට වතුර දාන්න පටන් ගත්තා. ටික වෙළාවකින් ඉන්දුල ත් මං ලගට ඇවිත් රෝස් මල් පාත්තිය දිහා බාලාගෙන ඉන්නව මං ඇස් කොනෙන් දැක්කත් නොදැක්ක වගේ හිටියා.

"බබා, ඔයා මාත් එක්ක තරහද?"
මං නෑහුන ගානට ඉන්දුලට පිටුපාලා මල් වලට වතුර දානවා.

"කතාකරන්නකො ඉන්දු.. මාත් එක්ක තරහෙන් ද තාම"

"තරහ වෙන්න යාලු වෙලා හිටියෙ නෑ නෙ, පාඩුවෙ ඉන්නවද මට වැඩක් කරගන්න දීලා" මං අහක බලාගෙනම උත්තර දුන්න.

"ඔයාගෙ හොදටනෙ කියන්නෙ, ඔයාට ජූස් බොන්න හරි සරසවියට යන්න හරි ඇඳුම් ගන්න හරි ඕන දේකට මට කියන්න. මං එක්ක යන්නෙ නැතිව ඉන්නෙ නෑ නෙ. මට දුක ඔයා කිසිම දේකට මාව හවුල් කරගන්නෙ නැති එකට. ඔයා යාලුවො ආශ්‍රය කරන එක මට ප්‍රශ්ණයක් නෑ. වෙළාවක ඔයාගෙ යාලුවො ටිකත් එකතු කරන් අපි කොහෙ හරි රවුමක් දාමු. එතකොට මටත් ඔයාගෙ යලුවො අදුරගන්න.."

"ඇයි මගෙ යාලුවො අදුරගෙන ඔයා මොනා කරන්නද? තේරුමක් නැති දේවල් කතා කරන්න එපා"
"මං කීපාරක් නම් කියල තියෙනවද, ඔයා ඔය හිතේ තියාගෙන ඉන්න දේවල් වලට මං කැමති නෑ. කවදාවත් මං ඔයාව බදින්නෙ නෑ. කවුරු කොහොම මොනවා කිව්වත් ඒ දේ වෙන්නෙ නෑ. "

"හරි හරි බබා, අපි ඒ කතාව නවත්තමු. ඒක නෙමෙයි කෙල්ලෙ.. මේ රතු රෝස මල හරි ම ලස්සනයි මං ආසම රෝස් මල් වලට, අන්න අක්ක ගාව තියෙන පත්තරෙත් තියෙනව රෝස් මල් වලට ආස අය ගෙ හිත් රෝස් මල් වගෙ මුදු යි කියලා. මමත් ඒ වගේ වෙන්න ඇති ඒ නිසා. ඔයත් ආස රෝස් මල් වලට නේද? ඇදල පැදලා එහෙම අහන ගමන් ඉන්දුල මගෙ රතු රෝස ගහේ පිපිලා තිබුන රෝස මල දිහාට අත දික් කරේ මලක් කඩා ගන්න."

"මොකද කරන්නෙ, නිකම් අපරාදෙ මල් කඩන්න එපා, රෝස මල් ගැන නම් මන් දන්නෙ නෑ. හැබැයි මං ආසම කොච්චි මිරිස් වලට. ඒක නිසා කොච්චි පැළ වලට තමයි හැමදාම මුලින් වතුර දාන්නෙ, පේනවනෙ." ඒ වෙළාවෙ අහම්බෙන් වගේ කොච්චි පැළ වලට වතුර දදා හිටපු නිසා කිව්වට ඇත්තටම මං කොච්චි සුවදට ආසයි.

ඉතිරි මල් පැල ටිකට ඉක්මනට වතුර දාල ඉවර කරේ තව මොන මොනවදෝ කියව කියව පස්සෙන් පාරෙන් කැරකෙන ඉන්දුලව ඉක්මනට මඟ අරින්න ඕනෙ නිසා. ඒ එක්කම කොච්චි ටිකක් කඩාගෙන ගේ ඇතුලට යන්න හැරුනෙ රෑට කන්න රොටි හදනවා කියලා අම්ම කියපු නිසා කොච්චි දාල හොද සම්බෝලයක් හදා ගන්න හිතාගෙන. කුස්සියට යනකොටත් අම්මා වැඩ පටන්ගෙන. මාත් කොච්චි ටික සෝදලා අරන් අනිත් අඩු වැඩියත් ලෑස්ති කරගන කොච්චි ටික කොටන්න ගත්තා. ඒ අතරෙ ඉන්දුල කුස්සියට ආව බව මං දැක්කෙ නෑ.

කවුදෝ පිටිපස්සෙන් හිටන් ඉන්නව කියල තේරෙද්දි කොටපු කොච්චි ටික පීරිසියකට මාරු කරන ගමන් හිටපු මට ඉඹේටම පස්ස හැරිලා බැලුනා. හරියටම මගේ ඇගේ ගෑවී නොගැවී හිටිය ඉන්දුලගෙ අත තිබුනෙ හරවපු මූණට වදින්න ඔන්න මෙන්න. නොහිතපු වෙළාවක මගේ මූණට ලං වෙන අත අහක් කරන්නයි ඇගේ ගැවී නොගැවී ඉන්න ඉන්දුලගෙන් ඈත් වෙන්නයි ඕනෙ නිසා මමත් එකපාර මගෙ අතින් ඉඳුලව තල්ලු කරා. නොහිතපු විදියට කොට කොට හිටපු කොච්චි මිශ්‍රනේ ගෑවිච්ච මගෙ අත ඉඳුලගෙ මූණෙ වැදුනෙ දකුණු ඇහැ හරියට වෙන්න. ඒ දැවිල්ලට ඉන්දුලගෙ ඇස් වලින් දුම් පිටවුනෙයි එක පාරට කෑගැහුනෙයි, බය වෙච්ච පාර අනේ මං  හිතලා කලේ නෑ කියල මට කියවුනෙයි ඒ එක්කම පස්සට කරගත්ත අත වැදිලා පීරිසිය මහ සද්දෙට බිම වැටිලා කෑලි කෑලි වලට කැඩිලා ගියෙයි එකම වෙළාවෙ.

"මොකද්ද ඔයා කලේ, ම්හ්හ්..ආ.. අම්මා.. ඉන්න බෑ. මගෙ ඇහැ හොදටම දැවිල්ලයි"

අම්මත් ඒ වෙනකොට රොටි හැදිල්ල පැත්තක දාල අපි දෙන්න හිටපු තැනට ඇවිත් හිටියෙ. පීරිසිය බිදුන සද්දෙයි ඉන්දුලගෙ සාස් සූස් සද්දෙටයි තාත්තයි අක්කයි දෙන්නත් කුස්සියට ආවා.

"මොකද්ද චූටි දුව මෙතන වුනේ" තාත්ත ඉඳුලගෙ උරහිස උඩින් අතක් තියන ගමන් මගෙන් අහද්දිත් ඉන්දුලගෙ දකුණු ඇහැ හොදටම රතු වෙලා ඇස් දෙකෙන්ම කඳුලු බේරෙනවා.

"නෑ නෑ මේ ළමයගෙ ඇහැට කොච්චි ගෑවුන, චූටි දුව හිතල කරපු දෙයක් නෙමෙයි අනේ, කෝ මූණ හොදට සෝදගත්තනම් ඕක හරියනවා" අම්ම මාව බේරගන්න ඉදිරිපත් වුනත් තාත්ත ගෙ කේන්තිය ඇවිස්සෙන්න ඉන්දුලගෙ ඇහේ කඳුලු ටික හොදටෝම ඇති බව මං දැනන් හිටියා. මගෙ දකුණු අතේ ඇඟිලි වල තැවරිලා තිබුන කොච්චි මිශ්‍රණය දැක්ක ගමන් තාත්ත හිතන්නෙ මං ඕන කමින් ඒ දේ කරපු බව කියලා තාත්තගෙ මූණෙ තිබිච්ච ඉරියවු වලින් හොදටම පැහැදිලිව පේද්දි මීට දවස් හතරකට කලින් බෙල්ට් එකෙන් ගහපු පාරවල් වලට නිල් වුන තැළුම් පාරවල් මැකෙන්නත් කලින් ආයෙත් ගුටි වරුසාවක් ලැබෙනවා කියන දේ අකුණක් ගැහුවා වගෙ මගේ හිත මට කියද්දි බයටම මගෙ ඇස් ඉබේටම වැහුනා.

 වැහෙන ඇසි පිය අතරින් තාත්ත ඉන්දුලගෙන් ඈත් වෙලා මං ළගට එනවා මට පෙනුනා. ඒ එක්කම ඔලුව ගැලවෙන්න තරම් හයියෙන් කොන්ඩෙන් ඇදෙද්දි මං ඇස් වහගෙනම එක අතකින් ඔලුව අල්ලගත්තා. ඒ එක්කම මොකද්දෝ බර දෙයකින් මගෙ පිට හරහා පාරවල් වදිද්දි අම්මා මාව බේරගන්න තාත්ත එක්ක ඔට්ටු වෙනවා මට හීනෙන් වගේ ඇහුනා. එක පාර ග්‍රහනය ලිහිල් වෙනාවා තේරෙනවත් එක්කම පිට හරහා වැදුනා පාරවල් වල සැරට සමබරතාවය නැතිව පාවෙනවා වගේ මට දැනුනා. ඔව්, ඇත්තටම මාව පාවෙලා ගියා. ඒ අතරෙ හීනෙන් වගේ අම්මගෙ කටහඩ කන ලගින් ඇහෙද්දි "හොද වැඩේ නපුරු කම් කරනවට, අම්ම තමයි මෙයාව නරක් කරන්නෙ..ඔය.. අක්ක මොන මොනවදෝ කියවනවත් හීනෙන් වගේ මට ඇහුනත් ඇස් ඇරගන්න බැරි මොකද්දෝ බර ගතියක් ඇස් පියන් උඩ මට දැනුනා. ඊළග මිනිත්තු ගාන මොකද වුනේ කියලා මට මතකයක් නෑ.

මට සිහිය එනවා රෝහල් කාමරයක් ඇතුලෙ ඇඳක් උඩ දි. ඔව් මගෙ අම්ම මගෙ ඇඳ ලඟම ඉදගෙන ඉන්නවා. ඇස් දෙකේ කඳුලු පුරෝගෙන. වුනේ මොනවද කියලා ලාවට මතක් වෙද්දි වදෙන් පොරෙන් හිත වහල දලා කිසි දෙයක් නොවුන ගානට අම්ම එක්ක හිනා වුනේ දේවල් මතක් වෙද්දි මගෙ ඇස් වලට එන කඳූලු කැට මගෙ අම්මගෙ පපුවෙ තියෙන ගින්දර ට තවත් පිදුරු ගුලියක් වෙන බව දන්න නිසා.

"ඇයි අම්ම මේ? ඔයා දුක් හිතන්න එපා. මට අමාරුවක් නෑ. ඇයි බොරුවට මාව මෙහෙට එක්කන් ආවෙ? කවද වෙනකන් ඉන්න වෙයි ද දන්නෙ නෑ,මෙයාලට ඕනෙ සල්ලි නෙ" අමාරුවෙන් ඒ වචන ටික කියා ගත්තත් ඒ වෙද්දි මගෙ ඔලුව හොදටෝම රිදෙනවා.

අම්මා කිසිදෙයක් නොකියා හිනා වෙලා මගෙ ඔලුව අත ගෑවා. ඒ එක්කම ඊට ටිකක් එහා පැත්තෙන් ටිකක් ඈතට වෙන්න කවුදෝ ඉන්නව කියලා ඡායාව විතරක් පෙනුනත් මට හරි හැටි පැහැදිලිව පෙනීමක් තිබුනෙ නෑ. ඒ දිහා මං තවත් ඕන කමින් බලද්දි ඒ රූපෙ මං ළගට එනවා කියලා මට දැනුනා.

"අයියා.., කියාගන්න බැරි සතුටක් හිතේ ඉපදෙද්දි අඩියට දෙකට ඇදෙන් බැහැල පුන්චි කාලෙ වගේ අයියව බදා ගන්න නොහිතුනා නෙමෙයි. ඒත් ඒ තරම් ශක්තියක් මගෙ ඇගේ ඉතිරි වෙලා තිබුනෙ නෑ.

"අයියා, කොයි වෙලෙද ඔයා ආවෙ" මං අයිය දිහාට දික් කරපු අත තද කරලා අල්ලගන්න ගමන් අයිය මට ලං වෙලා මගෙ අත පපුවට තුරුලු කරගත්තා. ඒ ඇස් දෙකේ ලියවිල තිබුන දුක තේරුම් ගන්න අමුතුවෙන් වචන ගලපන්න ඕනෙ වුනෙ නෑ මට. පුන්චි කාලෙ මට තුවාලයක් වුනත් වැඩිපුරම කලබල වුනේ අයියා. එහෙම තියෙද්දි  එදා මාව  එහෙම දැක්කම අයියාට මොනව නොහිතෙනවා ඇත්ද.
ඒත්.. ඒත් ඒ ඇස් වලට යටින්  ඊට වඩා දුකක් හැන්ගිලා තිබුනා කියලාමයි මගෙ හිත මට කිව්වෙ. ඔව්. අයියා මං ලඟ හිටිය නම් මට කවදාවත් මේ විදියට ගුටි කන්න ඉඩ තියන්නෙ නෑ නේද කියල හිතල දුක් වෙනවා ඇති කියල මං ඒ වෙලේ හිතුවා.

"අයියා මෙච්චර ඉකමනට ආවද? අනේ මාව ආයෙ දාල යන්න එපා අයියෙ, දවස් දෙක තුනක් වත් නවතින්නකො.." පුන්චි කාලෙදි අයිය ලග ඉන්නකොට දැනෙන සහනය තරම්ම සහනයක් එදත් මට දැනුනා. ඒ වෙනකොටත් අයියා කිසි දෙයක් නොකියා මගෙ අත එයාගෙ පපුවට තුරුලු කරගෙන මගෙ ඔලුව අතගානවා. මට අයිය දිහා බලාගෙනම ආයෙ නින්ද යන්න ඇති.. ඔව් මං දවස් ගානකට පස්සෙ හිත සැනසීමෙන් නිදාගත්ත එදා.

Saturday, November 21, 2015

තනි සපත්තුව

බස් එකෙන් බහිද්දිම කුඩේ ඉහල ගත්තෙ වැස්සෙන් බේරෙන්න. කොහේදෝ ඉදන් හමාගෙන එන සීතල හුළන් කුඩේට දරා ගන්න බැරි තරම් සැරයි. ඒ නිසාම අත් දෙකෙන්ම අල්ල ගත්තත් කුඩේ ගහගෙන යන්න වගේ ඈතට ඇදෙනවා. අමාරුවෙන්  කුඩෙත් ඉහලගෙන ඇවිදන් ඇවිත් යන්තම් මහ පාරෙන් ඇතුලට හැරුනා විතරයි පොද වැස්සෙ තෙමෙන එක කුඩේ ආන්ඩු මට්ටු කරනව වඩා හොදයි කියලා හිතුන නිසා වට පිට බලලා පේන මානෙ කවුරුත් නෑ කියල සැක ඇරගෙන කුඩේ අකුලලා බෑග් එකට දාගත්තා. සීතල හුළග මහා වේගෙට ඇවිත් ඇගේ වදින අස්සෙ පොද වැස්ස වුනත් වැහි බිඳු ඇග හිල් කරන තරම් සැරට ඇගට වදිනවා. වැස්සට තෙමිච්ච පාර දිලිසෙනවා. මම බොහොම පරිස්සමට අඩි තිබ්බෙ මේ කෙහෙල්මල් සාරියකුත් ඇදගෙන අගල් තුනක විතර උස සපත්තු දෙකකුත් දාගෙන නිකම් ඇවිදගන්නත් බැරි කොට මේ වැස්සෙ නිකම් හරි ලිස්සල වැටුනොත් එහෙම වැස්ස වළාහක දෙවියො වගකියන්නෙ නැති නිසා.

වෙනදට පොද වැස්සට කුඩයක් නැතිව තෙමි තෙමි ඇවිදන් යන්න මං කොයි තරම් නම් ආසද? සීතළ හුළන් වැදි වැදි වතුර පිරිච්ච වළවල් වල ට ඕන කමින්ම කකුල තිය තිය ඇති වෙන්න වැහි බින්දු මූණට වැටෙන්න ඉඩ ඇරලා අහස දිහා බලාගෙන ඇවිදින්න මං කොයි තරම් නම් ආස ද? ඒත් අද ඒ සැහැල්ලුව මට දැනෙන්නෙ නැත්තෙ මේ නුපුරුදු සාරියක් පටලගෙන අඩි උස දාගෙන ඉන්න නිසා නේද කියලා හිතෙද්දි ලංකාවෙ මුලින්ම සාරී ඇදපු ගෑණිත් එක්ක පුදුම තරම් කේන්තියක් හිතට ආවෙ.

මුහු.. පාර හොදටම ලිස්සනවා. මේ නුපුරුදු ඇදුම් ඇදගෙන මේ කෙහෙල්මල කරන්න බෑ. මේ වෙළාවෙ මේ අතුරු පාරවල් වල ටුක් ටුක් හොයන්නත් නෑ නෙ. අදම මේ ජගලාත්තුවක් අදින්න වුනා  නෙ කෙහෙල්මල් ප්‍රොමෝශන් එකක් නිසා.. වෙන කරන්න දෙයක් නෑ. පාරත් පාලුයි. කවුරුත් පේන්නත් නෑ. මීටර සීයක් විතර යන්න තියෙනවා ගෙදරට තව. ගත්ත සපත්තු දෙක ගලවලා අතට.. බීපු මිනිස්සු සරම දෙපැත්තෙන් දනිහ ලගට උස්සා ගන්නව වගේ සාරියත් දනිහ හරියෙන් අල්ලල උස්සගත්ත දනිස්ස ට ටිකක් විතර පහලට වෙන්න. පුලුවන් උපරිම වේගෙන් හයියෙන් ඇවිදන් ටික දුරයි යන්න හම්බුනෙ.. කලුවර දෙබෑ කරගෙන සුදු පාට යෝධ ළයිට් එකක් ගැහුව වගේ මුලු පැත්තම එළිය කරගෙන අහස වටේ සුදු නයි දුවනවා. ඒකත් ඉවසන්න පුලුවන් කියමුකො.. ඊළගට කණ බීරි කරවන තරම් සද්දෙට පුපුරණ අකුණු වලට දන්න කාලෙ ඉදන් පරාණ බයක් තියෙන්නෙ. මම දන්නෙත් නෑ අකුණු පුපුරනකොට මෙන්න මං සාරියකුත් ඇදගෙන සපත්තු දෙකකුත් අතේ අරගෙන දුවනවා.

සාරි ඇදන් සපත්තු අතේ අරන් වැස්සෙ යන ගෑනු ළැමයින්ගෙ සභ්‍ය පින්තූර ජන්ජාලෙන් සොයා ගත නොහැකි විය..

නැවතුනෙ ගේට්ටුව ලග.. ඒකත් ගේට්ටුව කාඩා ගෙන ගේ ඇතුලට යන්න බැරි කමට. සද්ද බද්ද  නැතුව ගේට්ටුව ඇරල ගෙදර දොර ඉස්සරහට ගිහින් තට්ටු කරන්න කලින් සාරිය පහලට දාල හදාගද්දි මොකක් හරි අඩුයි වගේ දැනුනා. වැස්ස වළාහක දෙයියන්ගෙ ඇස් දෙක අන්ධ වෙන්න විධුලි කොටලා කන් බීරි වෙන්න අකුණු ගහන්න එපැයි මගෙ එක සපත්තුවක් මගදි වැටිල නෙ. දැන් ඉතින් මොනව කරන්නද, ආයෙ යන්නැයි සපත්තුව හොයන්න මේ හෙන ගහන අස්සෙ. ඒකත් අර උඩ ඉන්න වැස්ස වළාහක දෙයියන්ට බැනල ඒ උත්තමයවත් තරහ කරගෙන?

මං ඉතින් එක සපත්තුවක් හරි ඉතිරි වෙලා කොඳු කඩා නොගෙන නිරුපද්‍රිතව ගෙදර ආව එකට දෙවියන්ට ස්තූති කරල දොරට තට්ටු කරා.  ආච්චම්ම මිනිත්තු දෙකකට විතර පස්සෙ ඇවිත් දොර ඇරල මගේ දිහා බලපු බැල්ම නම් ඒතරම් හොද නෑ වගේ කියලයි මට හිතුනෙ..

"උදේ ඇදගෙන කරගෙන ගියාට මං හිත හිත හිටියෙ සාරියෙ රැලි ටිකවත් කඩා ගනීවි කියලා. දූ මොකද සපත්තුවක් ගලවගෙන?"

"සාරියෙ රැලි ටිකට මුකුත් වුනේ නෑ ආච්චම්මා, සපත්තුවක් නම් මගදි වැටුනා" කියාගෙන මාත් ගේ ඇතුලට ගොඩ වුනා.

ආච්චම්ම මූණත් දෙක කරගෙන කල්පනා කරනවා ඇත්තෙ කකුලෙ තියෙන සපත්තුව වැටෙනකන් නොතේරෙන්න මට ලාදුරු හැදිලවත් ද කියල වෙන්න ඇති. ආච්චම්මට ඕන විදියකට හිතන්න ඉඩ ඇරලා මං කෙලින්ම කුස්සියට ගියෙ තේකක් හදාගන්න වතුර එකක් තියන්න. ආච්චම්මත් ලේසියෙන් මගෙන් හරස් ප්‍රශ්න අහන්නෙ නැත්තෙ මගෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන එක කෙසේ වෙතත් තවත් අවුරුද්දක් විතර කල්පනා කර කර ඉන්න පුලුවන් විදියෙ ප්‍රෙහෙලිකා වලින් උත්තර හම්බෙන නිසා වෙන්න ඇති.

ඒත් ඒ වෙළාවෙ අපේ අල්ලපු ගෙදර පොඩි කොලු පැටියා (පොඩි කිව්වට එකා උසස් පෙළ ) අපේ දිහාට රිංගලා ප්‍රොජෙක්ට් එකට කරුණු හොයන්න. ( පොඩි එකාට දෙමාපියන් විසින් ජන්ජාල පහසුකම් ලබා දී නොමැති නිසාවෙන් ජන්ජාල ගත වීම සඳහා අපේ දිහාට රිංගීම ට පොඩි එකා පුරුදු වී ඇත). ඒකටත් කට පියාගෙන ඉන්න බැරි ලෙඩක් තියෙන නිසා මං කුස්සිය ඉදන් එන පරක්කුවට අහන්න දත කට මැදන් හිටි ප්‍රශ්නය දබක් ගාල අත ඇරියා.

"අක්කා මොකො සපත්තුව වට්ටල ආවෙ? ඇයි බෑග් එකේද සපත්තු දෙක දාගෙන ගියේ? දත් තිස් දෙකම එළියෙ දාගෙන මේක අහපි.

"නෑ මල්ලි සපත්තු දාගෙන යන්නෙ කකුල් දෙකට නෙ. ඔයා දාගෙන යන්නෙ බෑග් එකේද? මං සපත්තුව වට්ටල ආවෙ ඕන කමට. තාම හොයාගන්න බැරි වෙලා නෙ මාව." මං ඇඟට පතට නොදැනි කියලා දැම්ම."

"ඒ කිව්වෙ?"

"නෑ කුමාරයට තාම මාව හොයාගන්න බැරි වෙලා මල්ලි. ඒකයි සපත්තුව දාල අවෙ. ඒක අහුලගෙන අනිත් සපත්තුව මැච් කරන්න අරං එයි නෙ හොයාගෙන. මං ඒකයි එකක් දාල අනිත් සපත්තුව අරන් ආවෙ."

බලන් ඉද්දි කොල්ලගෙ මූණ පුන්චි වුනා.

"මේ අනුන්ගෙ ඕප දූප හොයන්නැතිව කරන වැඩක් කරගන්නව හලෝ. ඉස්කෝලෙ වැඩක් ඇහුවොත් දන්නෙ නෑ. ළකුණු ඇහුවොත් මතක නෑ. ඒ වුනාට කාගෙ හරි ඕප දූපයක් ඇහුවොත් කන්න ඕනෙත් නෑ?" මං කොල්ලව කපලම දැම්ම. මේක ඕප දූප පප්ප.

කියල කට ගන්න හම්බුනෙ නෑ මේක ආයෙ පැන්න..

"අක්ක, ඔයාට කෝල් එකක්"

ෆෝන් එකක් වයිබ්‍රේට් දාල මේස උඩ තියලා තිබුන නිසා මට ඇහුනෙ නෑ. මල්ලි කියපු කමට නිකමට ෆෝන් එක අතට ගනිද්දිම අලුත් බොස්ගෙන් කෝල් එක?

"අලුත් බොස්.."

"මේ යකා මේ වෙළාවෙ මොකට කෝල් කරනව ද? හතත් පහු වෙළා නෙ" මට ඉබේටම හයියෙන් කියවුනා.

ඉතින් අක්කෙ අරගෙන බලන්නකො හදිස්සි උවමනාවක්ද දන්නෙ නෑ නෙ? අර ඔයා කිව්වෙ දවස් දෙක තුනකට කලින් ආපු පණ්ඩිත බොසා ද? ආන්සර් කරල බලන්න අක්කෙ

අනේ ඇත්තමයි මේකටත් ඕනෙ නැති කෙහෙල්මලක් නෑ. මගෙත් වැරද්ද මාත් කවුරුත් නැති කමට කා එක්ක හරි තද වුනාම මේකට නෙ ඇවිත් කියන්නෙ. මේ මනුස්සය දැන් ඔෆිස් එකට ඇවිත් දවස් දෙක තුනයි. ආපු මුල් දවසෙම හෙන පණ්ඩිත් ලෙක්චර් එකක් දුන්න අපේ ඩිපාර්ට්මන්ට් එකේ සෙට් එකටම. කෙල්ලන්ට කොයි වෙළාවෙත් නෝන්ඩි දාගත්ත ගමන්මයි ඉන්නෙ. ඒ ගැන කිය කිය දවසක් මේකත් එක්ක බැන්න නෙ මාත් ගෙදර ඇවිත්. ඒ මතකෙන් තමයි ඔය කියවන්නෙ.

"අයියෝ අක්ක කට් උනා නෙ" මේක ශෝක මූඩ් එකේ කියන්නෙ හරියට එයාට කෝල් එක ආව වගෙ නෙ.

"ඕනෙ නෑ මල්ලි, උවමනාවක් නම් ආයෙ ගනි නෙ" ඒ කියලා ඉවර කරන්න හම්බුනෙ නෑ මෙන්න මේකා ආයෙ කෝල් කරන්වා. කමක් නෑ ඔන්න ඔහෙ ආන්සර් කරනවා. ඔෆිස් එකේ කේස් එකක් වෙන්න ඇති.

"හෙලෝ"

"හෙලෝ ඉඳුනිල්, මේ වෙලේ කතා කරපු එක කරදරයක් ද දන්නෙ නෑ"

"කියන්න සර්, මොකක් හරි හදිස්සියක් නිසා නෙ සර් ගන්න ඇත්තෙ?" වෙන කියන්න දෙයක් මතක් උනේ නැති නිසා මං එහෙම කිව්වා.
ඒ අස්සෙ මල්ලි පුටුවෙ භාගෙට ඉදගෙන පස්ස උස්සගෙන මේසේ උඩින් බඩගාගෙන මේ පැත්තට ඇස් දෙකයි කන් දෙකයි ටියුන් කරන් ඉන්නවා කටත් ඇරගෙන.

"මේකයි ඉඳුනිල්, ඔයා අද අර සපත්තු දෙක ගලවල අතට අරගෙන සාරියත් කැහැපට ගහගෙන පාර දිගේ දුවගෙන ගියපු වෙළාවෙ ඔයාගෙ එක සපත්තුවක් වැටුනා නේද? ඒක හරියටම වැටුනේ ඔයා දුවන්න පටන් ගන්නකොටම වගේ... "

"ආ ඔව් සර්.. නෑ සර් වැස්ස නෙ සර්.. මේ.. ම්ම්..අ.." චික් විතරක් එක වචනයක් ගල්පගන්න බෑ නෙ. මෙච්චර දේවල් දැක්ක එකාට කාළගුණ වාර්ථා දීල වැඩක් තියෙනවයෑ.. ඒක ඔච්චර ජාති දැක්ක නම් දකින්න ඇතිනෙ වැස්ස බවත්.. මං මටම කියාගත්තෙ ඒ යකාට කියාගන්න දෙයක් හිතාගන්න බැරි උන නිසා.

මේ යකා මොන කෙහෙල්මලකට මේවා කියනවද මන්දා, මූට ඕනෙම කෙල්ලන්ව නෝන්ඩි කරන්න. දුශ්ඨයා..

"මං මේ ඔයාට කතා කරේ ඉඳුනිල් ඒ සපත්තුව වැටුනෙ හරියටම මං රෙන්ට් එකට ඉන්න ගෙදර ලඟ. මං රූම් එකේ ඉදන් හැමදේම බලාගෙන හිටියෙ. අනිත් දවසෙ වට පිට බලනවා වගේම පොඩ්ඩක් උඩ එහෙමත් බලන්න. ආ ඒක නෙමෙයි ඉඳුනිල් ඔයාගෙ සපත්තුව මං ඇහිදගත්ත. මං හෙට ඔෆිස් එකට ගෙන්නම්. හෙටට බාට දෙකක් දාගෙන එන්න පුලුවන් නෙ. අනිත් සපත්තුව බෑග් එකේ දාගෙන එන්න. කාටවත් අහු නොවෙන්න ඔෆිස් එකේදි බාට දෙක මාරු කරල සපත්තු දෙක දාගන්න බැරියෑ."

"ගුඩ්  නයිට් ඉඳුනිල්"

 චි මූ මෙච්චර දෙයක් කියලත් මට මූට මුකුත් කියන්න බැරි උනා නෙ.. මොනව කියලා කියන්නද මූ නම් මහ යකෙක්. කෙල්ලො පෙන්නන්න බෑ. කොයි වෙලෙත් ඔහොමයි. බූරුවා. මං හිතින් බැන බැන බෑග් එකත් අරන් කාමරේට යන්න හැරුනා.

"අක්කෙ බොස් මොකද කියන්නෙ?" එහා ගෙදර පොඩි එකා ආයෙ ඕප දූප හොයන්න ගාත්තා.

"මේ, වැඩෙ කරගෙන ඉවර නම් යනව යන්න. අවා මෙතන අනුන්ගෙ දේවල් හොයන්න. මෙහාට දෙනවා මගෙ ලැපී, ඩොන්ගල් එකයි. මට ඔෆිස් එකේ රිපෝර්ට් වගයක් දාන්න තියෙනවා."

සර් ට බැනගන්න බැරි ටික අර පොඩි කොල්ලගෙ පිටින් ගියා තමයි. ඌටත් ඔනෙ නැති එකක් නෑ නෙ. අනේ අර උගුඩුවට ඔය කාමරෙන් එබීගෙන ඉන්න වෙළාවක හෙනයක්වත් ගහන්නෙ නෑ නෙ.

Tuesday, November 3, 2015

අසම්පූර්ණ කතාවක්..



ඒ ඇස් දෙක දැකපු පළවෙනි දවස මට තාම මතකයි. ඔව්  මට හොදටම මතකයි මීට අවුරුදු තුනකට කලින් ඒ ඇස් දෙක දිහා බලපු පළවෙනි තප්පරේ මං කොයි තරම් බයවෙලාද හිටියෙ කියලා. අපි දෙන්නම එකම ගමේ බස් හෝල්ට් දෙකකුත් ඊට තව ටිකකුත් දුරින් අවුරුදු ගානක් ජීවත් වෙලා හිටියත් ඒ වෙනකන් අපි දෙන්නට දෙන්න දැකලවත් නොතිබුන හැටි හරිම පුදුමයක්.

හරියටම එදා දවසෙ අපි හම්බවෙන්න තිබුන නිසා වෙන්න ඇති කා
යක් තිස්සෙ මඟ ඇරපු ඒ ගමන මට එදාම එන්න වුනේ. මල්ලි ඇවිත් ඇති කියලා හිතලා කලින්ම ආවත් එතන හිටියෙ අඩි හයක් විතර උස,ඒ උසටම හරියන පළල් උරහිස් තියෙන කොන්ඩෙ කොටටම කපපු කලු කොල්ලෙක්. බැලූ බැල්මට මට බය හිතෙන්න ඇත්තෙ ඒ උස මහතට වෙන්න ඇති. ගෙවෙන විනාඩියක් ගානෙ මල්ලි එනකල් මඟ බලන් හිටියට නුහුරු නුපුරුදු චකිතයක් හිතේ ඇදෙනවා කියලා මට යන්තමට තේරුනා.


නන්නාදුනන ඒ කොල්ලා එක්ක එකට වැඩ කරන්න වෙයි කියලා එදා මට නිකමටවත් හිතුනෙ නෑ.  ඒත් හැම සති අන්තෙම අපි එකට වැඩ කරද්දි අපි කතා කරන්න ඇත්තෙ වචන දහය
ක් විතරයි මං හිතන්නෙ. පුලුවන් හැම වෙලේම මං ඒ ඇස් මඟ ඇරලා හිටියෙ කොයි වෙලෙත් මගේ දිහා බලාන ඉන්න ඒ ඇස් දෙකේ අයිතිකාරයගෙ පෙනුමෙන් ඔහු සැර පරුශ ඇති කියල මං හිතන් හිටිය නිසා වෙන්න ඇති. කොහොමවුනත් මං ඒ ඇස් දෙක ඕන කමින්ම මඟ ඇරියා කියලා මං දන්නවා. ඉතින් මාස ගානක් යනකම්ම අපි අතර තිබුනෙ වැඩ කරන වෙලාවට කතා කරන වචන දහයක පහළොවක දැන හැදුනුම් කමක් විතරයි.

මට තාම මතකයි මං පන්ති ඉවර වෙලා, 138 බස් එකේ ඉදන් කොටුවට එන අතරමගදි නැග ගත්ත කොල්ලෙක් ඕනවට වඩා මගේ පැත්තට තල්ලු වෙද්දි මං පුලුවන් තරම් ඒ ශරීරයෙන් ඈත් වුනා. ඒත් බස් එක ගැස්සන හැම වාරයක් ගානෙම මගෙ ඇඟට බර වෙන මේ මනුස්සයාට හයියෙන් බනින්න හිතුනත් කර කියාගන්න දෙයක් නැතිව ඇස් දෙකට කඳුළු ආවෙ ඉබේටම. ඉස්කෝලෙන් අයින් වෙලා තනියම පන්ති යන එන මුල්ම දවස් නිසා මට ඒ වගේ වෙළාවක මොනව කරන්නද කියල හරි හැටි තේරුමක් තිබුනෙ නෑ. ඇස් දෙකට ආපු කඳුලු කම්මුල් දිගේ පහලට එන්න ඔන්න මෙන්න තියෙද්දි මං බස් එකෙන් බහින්න හිතුවෙ එතකොටවත් මේ කරදරෙන් බේරෙන්න පුලුවන් නෙ කියලා හිතාගෙන. ඒත් ඒ එක්කම අර මිනිහා බස් එකේ උඩ පොල්ලෙන් අල්ලන් හිටපු මගෙ අත උඩින් අත තිබ්බෙ මගේ අත මිරිකන ගමන්මයි. ඒ එක්කම ගැස්සිලා අත ඇදලා ගත්තෙ ඉස්සර දොර දිහාවට යන්න හිතාගෙන.

ඒත්..

 ඒ ඇස් දෙක මගෙ ඉස්සරහ ..

ඔව් ඒ ඇස් දෙක මගෙ ඉස්සරහ.. ගිනි පුපුරු විහිදුවමින් ඒ ඇස්  බලන් හිටියෙ අර මිනිහ දිහා. ඒ එක්කම මගෙ දිහාවට හැරවුන හීනි ඇස් දෙකින් මුවා වෙන්න මූණ හංගගන්නවා වෙනුවට මං ඒ ඇස් දෙක දිහාම බලන් හිටියෙ පළවෙනි වතාවට.

"නංගි  ඔයා මේ පැත්තට එන්න "

කාත් කවුරුත් නැතිව අසරණ වෙච්ච වෙලාවක මේ විදියට උදව්වට ආව එක ගැන ස්තූති කරන්න ඕන උනත් ඒ වෙලේ කතා කරගන්න වචන ගලපගන්න බැරි තරම් බය වෙලා හිටපු මම ඒ වචන වලට කීකරු වුනා. අමාරුවෙන් හංගගෙන හිටපු කඳුලු  ඒ ඇස් වල බැල්මට අහුවෙලා  තිබුනා. කිසිම කතාවක් නැතිව කොටුවෙන් බැහ ගත්ත අපි දෙන්න කතා නොකරම හෝල්ට් එකේ නවත්තලා තිබුන 188 බස් එක දිහාවට ඇවිදගෙන ගියා. මට බස් එකට නගින්න ඉඩ දුන්න ඒ ඇස් දෙක මගෙ පිටිපස්සෙන් බස් එකට ගොඩ වෙලා මං ඉදගත්ත අසුනෙම ඉදගත්ත.

මං ඒ ඇස් දෙක දිහා බලලා අමාරුවෙන් වචන ගලපගත්තෙ ඒ වෙලාවෙ. වෙච්ච දේ එක්ක අසරණ වෙලා අඩා වැටෙන්න හදන හිත අමාරුවෙන් වාවගෙන මං කතා කලා..

"තෑන්ක්ස් අයියා.."  ඔව්.. මං ඒ ඇස් දෙක දිහා බලන් කතා කරා පළවෙනි පාරට.. ඒ ඇස් දෙකේ අයිතිකාරය එක්ක. ඔයා එක්ක..

"ඕව ගනන් ගන්න එපා නංගි, ඒක අමතක කරන්න."
"දැන් ඔ
යාට අඩන්න ඕනෙ නම් අඩල ඉවර කරන්න. ඔහොම නම් ඉන්න එපා" 
ඇස් දෙක හීන කරගෙන මගෙ දිහා බලාගෙන තවත් මොන මොනවදෝ කියෝ කියෝ ආපු ඔයා මගේ හිතේ නැවතුනේ එදා ඉදන් වෙන්න ඇති. ඒත් ඒ සහෝදරයෙක් විදියට. එදා ඉදන් ඒ ඇස් දෙක මට මහ ගොඩක් ලඟයි වගේ දැනුනා. නිතර නිතර එන යන ගමන් අපි බස් එකේ අහම්බෙන් මුණගැහුනා කියලා මං හිතුවත් දැන් මං දන්නවා මං බස් එකට නගිනකන් බලා ඉදලා ඔයා ඒ බස් එකටම නැගපු බව. ඒ විදියට දින සති ගෙවිලා ගිහින් දවසක් ඔයා මගෙන් නොහිතපු විදියෙ ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙද්දි අපි හොද යාලුවො.

“ඕක අහන්නත් දෙයක්ද අයියා. මං ඔයාට කැමති නිසානෙ ඔයා එක්ක මං කතා කරන්නෙ. මං අකමැති අය එක්ක කතා කරන්නෙ නෑ නෙ.”
එහෙම කියලා මං ප්‍රශ්ණෙන් මඟ ඇරියෙ ඒ ප්‍රශ්ණෙට දෙන්න උත්තරයක් මං ළඟ නැති නිසා.

ඒත් ඔයා ආයෙත් මගෙන් ඇහුවා
“නෑ නංගි මං අහන්නෙ ඔයා මට ආදරේ ද කියලා ? ”
ඇස් දෙක හීනි කරගෙන ඔයා මගෙන් අහද්දි මං ඒකටත් හිනා වෙලා උත්තර දුන්න..

“ආදරෙයි.. හැබැයි කොල්ලො කෙල්ලො ආදරේ කරන විදියෙ ආදරයක් නෙමෙයි. ඔයා මට මගෙ හොඳම යාලුවෙක්, මගෙම අයියා කෙනෙක් වගෙ.. ඒ නිසා මං ආදරෙයි..”
ඔයා ඇස් දෙක ලොකු කරල මගෙ දිහා බැලුවෙ ඒ හතර බීරි කතාව තේරුම් ගන්න බැරිව බව මං නොදන්නව නෙමෙයි.

“මං ඔයාට ආදරෙයි නංගි. මං ගෙදර ඇවිත් අහන්නම්. ඊට කලින් මට කියන්න  ඔ
යා  කැමති ද කියලා..”

"මාත් අයියට ආදරෙයි ඒත් ඒ ආදරේ අයියා කෙනෙක්ට තියෙන ආදරේ ද නැත්තම් අයියා ඔය කියන විදියෙ ආදරයක් ද කියල මං දන්නෙ නෑ. මං ඔය කියන විදියට මේ වෙනකන් කාටවත් ආදරේ කරල නැති නිසා මට එහෙම ආදරයක් ගැන හැගීමක් නෑ. අනික අයියා ට මගෙ හිතේ තියෙන්නෙ මොන වගේ ආදරයක්ද කියලා හොයාගත්තත් ඒ අයිය ඔය අහන විදියෙ ආදරයක් වුනත් තේරුමක් නෑ. ඔයා අපෙ ගෙදරින් ඇහුවත් වැඩක් වෙන්නෙත් නෑ. ඒ නිසා අපි ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්නෙ නැතුව ඉමු අයියා."

ඇඟට පතට නොදැනි මට එදා එහෙම කියන්න පුලුවන් වුනේ මං ඇත්තටම ආදරයක් ගැන හිතුවෙ නැති නිසා. නිකන් හරි එහෙම ආදරයක් ගැන හිතලා ඒ ආදරය මට නොලැබුනොත් ඒ දේ දරාගන්න බැරි බව මං දැනන් හිටියා.

බලන් ඉන්නැද්දි ඔයාගෙ මූණ කළු වළාවකින් වැහිළා යද්දි මට දුක නොහිතුනා නෙමෙයි. ඔයා කතා බහක් නැතිව ඔහේ බලා ගත්ත අත බලා ඉද්දි මගෙ මුලු හිතම පිච්චිලා යද්දි මට ඔයා අහපු ප්‍රශ්ණෙට උත්තරේ ලැබුනා. මට මතක් උනා ඔ
යා අසනීප උන වෙළාවට ඔයා ගැන දුක් වුන තරම්, ඔයා ගැන හොයලා බලපු තරම්, ප්‍රශ්ණ මහ ගොඩක් ඔළුව ඇතුලෙ වද දෙද්දි ඔයා මං ලඟ ඉන්න හැම තප්පරේම ඒ හැමදේම මට ඉබේටම අමතක උන හැටි, ඔයා එක්ක ඉදලා ඔයාගෙන් වෙන් වෙලා යද්දි දෙපාරක් ඔයා දිහා හැරිලා බලන හැටි මතක් වෙද්දි මගෙ හිත මට කෑගහල කිව්වා මේක තමයි ආදරේ කියලා. ඒත් ඒ දේ මං කොහොමද පිළිගන්නෙ? මං ඔයාට ආදරේ කරා කියලා, ඔයා මට ආදරේ කළා කියලා අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් සමාජයක නෙමෙයි අපි දෙන්න ඉන්නෙ කියලා මං කොහොමද ඔයාට තේරුම් කරලා දෙන්නෙ? "ආදරෙයි ඒත් අපි දෙන්නට එකතු වෙන්න බෑ" කියනවට වඩා "ආදරේ නෑ" කියන උත්තරෙන් ඔයාට හිත හදාගන්න ලේසි වෙවී කියලා අමාරුවෙන් හිත හදාගත්ත මං එදා. ඇති වෙන්න ඇඩුවා මං තනියම.
ඒත් සැරින් සැරේ ළගට ඇවිත් ආදරේ ඉල්ලන ඔයාට,
හ ගොඩක් මං ආදරෙයි කියලා කියාගන්න බැරිව මං දුක් වින්දා. ඒ නිසාම ආයෙත් මං ඔයාව මඟ ඇරියා.

 දවස් ගානකට පස්සෙ නොහිතපු වෙ
ලාවක සරසවියෙදි ඔයා මාව දකිද්දි මගෙ අත් දෙකේම දම් පාට තැලුම් පාරවල්. ඔයාව මඟ ඇරලා යන්න හැදුවත් ඔයා මට යන්න දුන්නෙ නැතිව බලෙන්ම නතර කරගත්ත. තැලුම් පාරවල් පිරුනත් දෙක, පිපුරුණ උඩු තොළ දැක්කම ඔයා බය වෙන්න ඇති. ඔයා මාව බලෙන්ම එතනම තියෙන ජූස් බාර් එකට එක්ක ගියේ ආවෙ නැත්තම් ගෙදර එනවා කියලා මාව බය කරලා..

ඔයා මාව පුටුවෙ ඉන්දවලා මගෙ ඉස්සරහ පුටුවෙ ඉදගෙන තඩිස්සි වෙච්ච මගෙ කම්මුල උඩ අත තියද්දි එච්චර කා
යක් හිතේ හිරකරන් කාටවත් ම නොපෙන්නපු මගෙ කඳුලු, වරුසාවක් වගේ කඩා වැටුනා. ඔයාට මතකද මං හොදටම ඇඩුවා. ඔයාට වෙනදා වගෙ මාව සනසවගන්න බැරි වෙන තරමට මං ඇඩුවා.

"අනේ නංගි මොකද උනේ කියන්න පැටියො, ඇයි මේ? ඔයාට මොකද උනේ? ඇයි මේ ඔයාගෙ මූණ තඩිස්සි වෙලා? අත් ඇයි නිල් වෙලා මේ විදියට? මට ඇත්ත කියන්න? " ඔයා එහෙම කියද්දි ඔයාගෙ කටහඩ හොදටම බිඳිලා.

"මගෙන් මුකුත් අහන්න එපා අයියා. ඔයා නොදන්න දේවල් ගොඩක් මගෙ ජීවිතේ තියෙනවා. මට ලං වෙන්න එපා. ඔයාටත් දුකක් විතරයි. මගෙ ලඟ විනාඩි පහක් ඉදලා ඔයා යන්න අයියා. ආයෙ කවදාවත් මාව දැක්කත් මාත් එක්ක කතා කරන්න එපා." එක හුස්මට කියාගෙන ගියත් එතනින් එහාට මට එක වචනයක් කියාගන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ.

"බැහැ. අද ඔයා
ට කියන්නම ඕනෙ ඔයාගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා. ඔයා අද මට කියනකන් මං මෙතනින් හෙල්ලෙන්නෙ නෑ. විනාඩි පහක් ඇයි කියන්න? ඇයි මට විනාඩි පහක් ඉන්න කිව්වෙ? කවුරුහරි ඔයාගෙ පස්සෙන් පන්නනවද?"

"නෑ නෑ අයියා. මට ඔයා ලග ඉන්න ආස නිසයි කිව්වෙ. මට විනාඩි පහක් දෙන්න කියලා.. මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා මං එහෙම කියන එක වැරදි ඇති. මං දන්නෙ නෑ. ඒත් මට විනාඩි පහකට මේ විදියට ඔයා ගාව ඉන්න දෙන්න. ඒ ඇති මට හැමදාටම.."

"ඒ කියන්නෙ ඔයා.. ඔයා මට ආදරෙයි ද?
කතා කරන්න පැටියො? මට කියන්න"

"එහෙනම් ඇයි මාව එළවගන්න හදන්නෙ? මොක
ද්ද ප්‍රශ්ණෙ?"

"මං ආදරෙයි..මහ ගොඩක් ආදරෙයි.. ඒත් කවදාවත් ගෙදරින් කැමති වෙන්නෙ නෑ. ඒ නිසයි මං ඔයාට යන්න කියන්නෙ.. අපි ට ආදරේ කරන්න බෑ. මට මගෙ අම්ම තාත්ත ට විරුද්ධව දේවල් කරන්න බෑ. ඒත් මං අකමැති කෙනෙක්ව මට බදින්නත් බෑ. එයාලා ඒක තේරුම් ගන්නෙත් නෑ. මට මගේ ප්‍රශ්ණ වලින් බේරෙන්න බැරිව ඉද්දි ඔයාවත් ආදරේකට පටලවගෙන ඔයාත් දුක් විදිනවා බලන්න ඕනෙ නෑ මට.ඒකයි කියන්නෙ මාව අමතක කරන්න. ප්ලීස් මට පේන්න එන්න එපා. මට.. මට..ඔයාව දැක දැක හිත හදාගන්න අමාරුයි. මාව.."

"නංගා ඔයා කියන දේ මට පැහැදිලි නෑ. මොකද්ද අකමැති කෙනෙක් බදින කතාව? ඒ කියන්නෙ ඔයා දැන් බදින්න ද යන්නෙ? "
ඔයා එහෙම අහද්දි ඔයා ගෙ ඇස් දෙක මහ ගොඩක් ලොකු වෙලා තිබුනා. අපි දෙන්නා ටික වෙලාවක් කතා නොකර ඔහේ බලන් හිටියා. මගෙ දකුණු අතේ නිල් පාට තැලුම් පාරක් අතගාන ගමන් ඔයා මගෙ ඇස් දෙකට එබුනෙ උත්තර හොයන්න කියලා මට දැනුනා.. තවත් ඔයාගෙන් දේවල් හංගලා වැඩක් නෑ කියලා මං ඒ වෙලේ තේරුම් ගත්තා.

"මගෙ තාත්තගෙ හොදම යාලුවා.. එයගෙ පුතා මට වඩා අවුරුදු හතරක් ලොකුයි. අපේ තාත්ති ඒ
න්කලුයි ඒ කාලෙ ඉදන් හිතන් ඉදලා තියෙන්නෙ ලොකු වෙලා අපි දෙන්න ව බන්දන්න. ඒ න්කල් දැන් මැරිලා. ඒත් මං කැමති නෑ. එයාල බල කරනවා. මං එයාට කැමති නෑ. එයා හිතන පතන විදිය හරි අමුතුයි. මං එහෙම ජීවිත වලට ආස නෑ. ඒත් අපේ ගෙදරින් තේරුම් ගන්නෙ නෑ. එයාගෙ නම.. ඉන්දුල..

මං ඒ අන්තිම වචන කියද්දි ඔයාගෙ කට ඉබේටම ඇරුනා..

"ඒ කියන්නෙ නංගි ඔයාගෙ නම දාල තියෙන්නෙත් ඒකට ගැලපෙන්න.. " ඔයා එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා.
"එතකොට කවුද ඔයාට මෙහෙම කලේ? ඌ ඔයාට ගැහුවද?"
"කතා කරන්න පැටියො?"

"නෑ, අපේ තාත්ති, මං ඉන්දුලට බැන්
නා, එයා මගෙ පස්සෙන් ක්ලාස් එකටත් එනවා. මහ කරදරයක්. මං කොච්චර බෑ කිව්වත් මගෙ පස්සෙන්ම එනවා. මං එයා එක්ක එන්නෙ නැතිව බස් එකේ ආවා කියලා තාත්ති ගැහුවා. අපි දෙන්නට කවදාවත් ගෙදරින් කැමැත්ත ලැබෙන්නෙ නෑ. මේක හීනයක් විතරයි. බොරුවට අපි දෙන්න හීන දැකල අන්තිමට දෙන්නම දුක් විදිනවට වඩා හොදයි දැන්ම ඈත් වෙන එක. මට පොරොන්දු වෙන්න ආයෙ මාව හොයන් එන්නෙ නෑ කියලා. අපි දෙන්නම දුක් විදිනවට වඩා ඒක හොදයි. ඔයා මට ටිකක් හරි ආදරේ නම් මට පොරොන්දු වෙන්න ආයෙ මාව හොයන් එන්නෙ නෑ කියලා. " තවත් මොන මොනවදෝ මං කිව්වා. ඔයා ඒ හැමදේම අහන් හිටියෙ මගෙ අත අල්ලගෙනමයි..

තවත් එතන ඉදලා තේරුමක් නැති හින්දයි මං ඔයාගෙ අතගසලා දාල නැගිටලා ආවෙ. මගෙ කරුමක්කාරකමට තව
ත් ජීවිතයක් අමාරුවෙ දාන්න බැරි නිසයි. එදා ඔයා ගැන තිබුන ආදරේ අදටත් එහෙමම මගෙ  හිතේ ඉතිරි වෙලා. ඔයාගෙ හිතේත් එදා මං ගැන තිබුන ආදරෙන් බිංදුවක් හරි ඉතිරි වෙලා තියෙනවා නම් කියලා  හිත හිත වළාකුළු බැම්මට හේත්තු වෙලා කොයි තරම් නම් අතීතය ගැන හිතන්න ඇත්ද? එදා ඉදන් අද වෙනකන් ජීවිතේ වෙනස් වෙලා තියෙන විදිය, කරපු කියපු දේවල්, අන්තිමට හැමදේම අතරලා නුවර ආපු දා වෙනකන් සිදුවීම් කතන්දරයක් වගේ කී පාරක් නම් මගෙ  හිතට ගලාගෙන එන්න ඇත්ද?

මීට අවුරුදු එකහමාරකට විතර කලින් ලියපු ඩයරියක පිටුවක් කියවද්දි ඒ හැමදේම ආයෙ ඇස් ඉස්සරහ මැවෙද්දි ආයෙත් වෙනම ලෝකෙක අතරමං වෙන්නෙ ඒ ආදරේට තාම හිතින් ආදරෙ කරන නිසා කියලා පුරුදු විදියටම හිත හදාගෙන ආයෙත් මං හිනාවෙනවා..