Thursday, May 10, 2012

ඇයි මෙහෙම හිතන්නෙ මට?

මට කවදාවත් බැරි වෙයි අනිත් අයට ගැලපෙන්න ඉන්න. හැමෝමලාම කියනවා වගේ මං වෙනස් තමයි. කොයි තරම් පිලිගන්න අකමැති උනත්  ඇත්ත තමා  කියලා මටත් දැන් තේරෙනවා. ඒත් එහෙමයි කියලා කොහොමද වෙනස් වෙන්නෙ? මේ මගේ හැටි නේ..

හිතට හිතෙන දේ කියනවා ඇරෙන්න කියන්න ඕනෙ දේ හිතන්න මට පුරුද්දක් නෑ. කාගෙවත් හිත රිද්දන්න බැරි කමට සමහර වෙලෙට කරබාගෙන හිටියට ඒ මෝඩ කමට නොතේරෙන කමට නෙමෙයි. කාවවත් රිද්දල සතුටු වෙන්න ආස නැති නිසා. ඒත් අනිත් අය හිතන්නෙ මෝඩ කම කියලා. කාටහරි කරදරයක් කියලා දැක්කොත්, නැත්තම් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඒ වෙලාවට උදව් කරන්නෙ මනුස්ස කමට මිසක් වාසි බලාගනවත්, වෙන වැඩක් නැතිවටවත් නෙමෙයි මං. මට තේරෙනෙ නැත්තෙ සමහරු උදව් කරාම හිතන්නෙ මෙයා නම් ගොන් බදින කනුවක් ඕන වැඩක් කරගන්න පුලුවන් කියලා. එහෙම හිතනවා කියලා දැන දැනත් ආයෙම ඒ අයට උදව්වක් ඕනෙ කියුවම උදව් නොකර ඉන්න හිත හදාගන්න බෑරි ඇයිද කියලා මටම තේරෙන්නෙ නෑ.

අනිත් අය ලොකුවට හිතන ලොකු ප්‍රශ්න ගැන මට නිකමටවත් හිතෙන්නෙ නෑ. හරියට "මොනාද  ඉස්සරහට තියෙන ප්ලැන්ස්? job එක? එතකොට  ප්‍රොමෝශන්ස්?  පඩි  වැඩි කරගන්න විදිය? තියෙන වාහනයට වඩා හොද වාහනයක් ගන්න ඕනේ නේද?, මොනා හරි දෙයක් කරනකොට ඒ දේ අපිට තියෙන වැදගත් කමට වඩා අනිත් අය ඉස්සරහ ඒ දේ කරාම ලැබෙන තත්වය? සාමජය ඉස්සරහ නමක් හදාගන්න හැටි? වැඩක් කරලා එක දාගන්න විදිය, තමන්ගෙ හිතට ඇති හිතෙන කම් නැතිව අනිත් එකාට වඩා ඉස්සරහට යන්න ඕනෙ නේද? වගේ දේවල් ගැන නිකමටවත් මට හිතෙන්නෙ නෑ.

මට නම් වෙන මුකුත් ඔනෙ නෑ  මං ගොඩාක්ම ආදරේ කරන අය එක්ක සතුටින් ඉන්න තියෙනවා නම්,  ගේම් එකක් ගහලා, හිතට එන දෙයක් ලියලා දාලා, කතන්දර පොතක් කියවගෙන, අපේ ගෙවල් ලග ඉන්න පොඩි සෙට් එක වටකරගෙන මොනා හරි මැටි වැඩක් කරල හිනා වෙලා, සැහල්ලුවෙන් ඉන්න, නිවාඩු වෙලේට ගෙදර අය එක්ක බීච් එකේ රවුමක් දාල උනු උනු වඩේ ලූනු මිරිස් එක්ක කාල සබන් බෝල එකක් අරන් ගෙදර ඇවිත්  පැයක් විතර නාලා ඇදට වැටිලා කොට්ටෙ බදාගෙන නිදාගන්න තියෙනවා නම්

අම්ම පුටුවෙ ඉදගෙන T.V එක බලද්දි අම්ම ගාවබිම ඉදගෙන අම්මගෙ ඩොක්කුවට ඔලුව තියාගෙන අම්මට කියලා ඔලුව අතගාවගන්න, තත්තා කොයි හරි ගිහින් මොනා හරි අරන් ගෙදර ආවම තාත්තව බලෙන්ම පුටුවක ඉන්දවගෙන පුටු ඇන්දෙ ඉදගෙන ගෙනාපු බෑග් එක දිග ඇරල බලන්න, අම්මා උදේම කෑම උයපු නැති දවසට අම්මයි මායි තාත්තායි විතරක් ගෙදර ඉන්නව නම් අම්මව කුස්සියෙන් එලවලා තත්තා එක්ක එකතු වෙලා කුස්සිය හැඩි කරගෙන භාජන අල්ලන රෙදි පුච්චගෙන කෑම හදන්න ( සමහර දාට බඩු පෙරලගෙන වීදුරු එහෙම බිදගෙන අත කපගත්ත වෙලාවලුත් තියෙනවා තත්තයි මායි)

මට ප්‍රශ්න කියලා තියෙන්නෙ ඉතින් ලගින්ම ඉන්න කෙනෙක්, ගොඩාක් ම ආදරෙ කරන කෙනෙක් පොඩි දේකට හරි බැන්නොත් හුගක් ම හුගක් දුක හිතන එක,
කවුරු හරි ලගම කෙනෙක් තරහ වෙන එක,

අපේ අම්මා මට උදේට කොයි තරම් ආදරෙන් තුන් හතර පාරක් කතා කරල නැගිට්ටුවොත් මට නැගිට්ටවෙන්නෙ නැත්තෙ ඇයි ? එහෙම නැගිට්ටවල නැගිටින්නෙ නැති උනාම පැයට හැටේ වේගෙන අපේ අම්මගෙ අතක් මගේ ශරීර කූඩුව ස්පර්ශ කරාම කොච්චර රිදුනත් හිනා කටක් දාගෙන නැගිට්ටවෙන්නෙ ඇයි මට හරියට ගුටිය ලැබෙන කන් බලන් හිටිය වගේ?

අයිය වැඩ ඇරිල ගෙදර එන්න පරක්කු වෙන එක,
තාත්තා කොහිහරි දුර ගිහින් ඉද්දි කෝල් කරාට ෆෝන් එක ගන්නෙ නැති එක,
අපේ අක්කි ගෙදර ආපු වේලෙ ඉදන් කියවන ලොකු කතා අහන් ඉන්න එක,
මං මෙච්චර ලොකු වෙලාත් ඇයි තාමත් මට චූටි දූ, චූටි නංගි, චූටිය, පොඩි එකා කියලා කතා කරන්නෙ?
ඇයි මං ගෙදර, නෑදැයෝ, ඒ විතරක්යෑ අපේ පාරෙත් මගෙ පරම්පරවේ අයගෙන් පොඩිම එකා වුනේ?

නිකමටවත් ඉස්සර වගේ චූන් පාන් කරත්තෙ අපේ ගෙවල් පැත්තෙන් යන්නෙ නැති එක,
එහෙම කොහෙදි හරි චූන් පාන් කරත්තයක් නවත්තගෙන ජෑම් පාන් ගත්තත් අපි පුංචිම කාලෙ චූන් පාන් එකෙන් ගත්ත ජෑම් පාන් වල වගේ දැන් ඒවයෙ ජෑම් ගොඩක් නැති එක,

මගේ වයස ඉන්න සමහරු තොරොම්බොල් කරත්ත වගේ ඇදගෙන මූනත් තහඩුව වෙනස් කරගෙන කොන්ඩෙ කඩාගෙන පන්ති එන එක, පල්ලි එන එක,සමහරු ඇයි හෙනම අමාරුවෙන් බැරි බැරි ගාතෙ අඩි උස දාගෙන ඇවිදින්නෙ යස අගේට සාමන්‍ය ගමනට සැහැල්ලු සෙරප්පු දාගන යන්න පුලුවන් කම තියෙද්දි,

අපි කරන දේ කාටවත් හිරි හැරයක් නැති තාක් කල් ඒදෙයින් අපිට සතුටු වෙන්න පුලුවන් නම් එහෙම දේවල් කරාම අනිත් මිනිස්සු ගොඩයෝ කියලා හිතාවි කියලා අකමැත්තෙන් අකමැති දේවල් කරන්නෙ ඇයි මේ මිනිස්සු?  සමහරු අම්මට තාත්තට වදින එකට නැත්තම් යාලුවෙක් ගෙ ගෙදරකට ගිහින් එද්දි එයලගෙ අම්මලා තාත්තලාට වදින එක දිහා අමුතු විදියට බලන එක

ඇයි හොදටම වැහලා පයාගෙන එන කොට ඒ කියන්න ටික ටික වැහි බිංදු වැටෙන වෙලේට මං විතරක් කුඩේ අකුලගෙන ආසවට වැස්සෙම ඇවිදගෙන යනකොට අනිත් කාටමවත් එහෙම හිතෙන්නෙ නැත්තේ?
…කොළඹ ඉදන් රස්නෙ ඉවසන්න බෑ කියල වියදන් කරගෙන නුවර එලියෙ ගිහින් ඔලුවෙ ඉදන් පොරෝගෙන නවතින්න ගන්න තැන ඇතුලට වෙලා දොරවල් වහගෙන එලිය බලාගෙන ඉන්න එක, ( ඇයි දෙයියනේ ඇගට පතට ටිකක් හුලන් වදින්න සීතල දැනෙන්න කන් දෙක අගුලු වැටෙන්න ඉඩ දීලා ඔහේ එලියට බැහල ඇවිදින්න හරි එක තැන හිටන් ඉන්න හරි නෙමෙයි නම්, අත් දෙකේ අල්ලයි ඇගිලි ටිකයි අඩි පතුලයි සීතල වෙනකන් වතුරට අල්ලන් ඉන්න,  සීතල වුන ඇගිලි ටික මූනෙ තියාගන්න වගේ දේවල් කරන්නෙ නැතිව, ඔලුවෙ ඉදන් වහගෙන කන් දෙකත් වහගෙන සීතල අල්ලන්නෙ නතිව ඉන්න ඔනේ නම් මොකටද යන්නෙ?)



අනේ මංදා මෙහෙම දේවල් හිතෙන්න මට පිස්සුද? නැත්තම් අනිත් අයට තියෙන වැඩ එක්ක ඒ වගේ දේවල් කරන්න වෙලාවක් නැද්ද කියලා..
…කොහොම උනත් ඉතින් මං දන්නව සමහර වේලෙට ජීවිතේ ගැන ගැඹුරින් හිතන්න ඕනේ.. මං ගෙදර වගේම ඔක්කොලාගෙම පොඩි එකා නිසා බරක් පතලක් නැ. අදටත් මං දෙයක් කරන්න ගත්තම ඔක්කොලාම උදව් කරනවා තනියම කරන්න ඕන උනත් බෑ. ඉස්සරට වඩා නම් දැන් ඒ ගතිය අඩු වෙලා. මොකද ඔක්කොලාම  එයාලගේ ජීවිත එක්ක හැප්පෙන නිසා.. ඒ නිසාම තමා මටත් එක පාරට මේ හැමදේම තේරෙන්න්න ගත්තේ. පුංචි කාලෙ ඉදන්ම මොකක් හරි ප්‍රශ්නයක් උනාම මං අම්මට නම් බරක් උනේ නැ. ගොඩ වෙලාවට අයියට එහෙමත් නැත්තම් අපේ මාමාට තමයි කියන්න පුරුදු වෙලා හිටියෙ. ඒ අම්මට ලග නැති කමට නෙමෙයි, අම්මට ඊට වඩා මහ ගොඩක් ප්‍රශ්න තියෙද්දි වද වෙන්න, තව වද කරන්න පවු කියල පුංචි කාලෙ ඉදලාම මගෙ හිතට දැනිල තිබුන නිසා.

මගේ අම්ම ගැන ලියනව නම් ලියනන් පුලුවන් මට මහ ගොඩක්. ඒ හැමදේම පස්සෙ ලියන්නම් කො.
…ඉතින් පුන්චි කාලෙ ඉදන් අම්මට වදයක් නොවෙන්න හිටපු නිසාද මංදා දැන්ටත් මොන ප්‍රශ්නෙ තිබුනත් අම්මා ඉස්සරහ හිනා වෙලා ඉන්නව මං. ඉස්සර වගේ අයියට වද දෙන්නෙ වෙන්නෙත් ටික කාලයයි තව. එයත් යනවා මාව දාලා. ඒ නිසා ජීවිතේ බර වෙනදට වඩා දැනෙනවා මට.

ජීවිතේ අමාරු තැන් වලදි, කරන්න ඕන දේ නොදන්න තැන් වලදි හුගක් වෙලේට වැඩ කරේ පියතුමන්ගෙ මග පෙන්වීමත් එක්ක. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි උනාම තාත්ත කෙනෙක් වගේ හරි වැරැද්ද කියලා දුන්න කෙනෙක් අපේ පියතුමා මට. අපේ පල්ලියෙ පියතුමාත් මාරු වීමක් ලැබිලා.ඉතින් දැන් පියතුමත් මාරු වීම නිසා ඈතට යනවා.

ප්‍රශ්නයක් කරදරයක් උනාම වගේම මොකක්ම හරි දෙයක කරන්න කලින් උපදෙස් අරගන්න කගින්ම හිටිය අයියයි පියතුමයි දෙන්නම එක ලගම මාව දාල යද්දි ජීවිතේට තනියම මූන දෙන්න ඕන නේද කියල හිතෙද්දි හිරි වැටිලා යනවා මාව.  

…ඔක්කොලාම කියනවා මට පොඩි එකෙක් වගේලු. හිතන්නෙ පතන්නෙ එහමලු. එහෙම බෑලු ජීවත් වෙන්න. ඔවු මට තේරෙනවා දැන්. ඒත් දෙයියනේ එහෙමයි කියලා කොහොමද මේ ඉක්මනට වෙනස් වෙන්නෙ. මෙච්චර කල් පස්සෙන් හිටි අය ඔක්කොලාම ඈතට ගිහින් මං තනියම කොහොමද ජීවිතේ ඉගෙන ගන්නෙ? වැරදුනොත්  කාලගටද යන්නෙ? කාගෙන්ද අහන්නෙ? නොතේරෙන තැන් වලදි මොකද කරන්නෙ?  බයයි ඇත්තටම මහ ගොඩක්. ජීවිතේ ඉගෙන ගන්න ඕනේ  දැන්. ඒත් හැමදාම යන එන තැන් වලටත් තනියම යන්න පාර දන්නෙ නැති මං  කොහොමද තනියම හැමදේම ඉගෙන ගන්නෙ?
ජීවිතේ බර කවදාවත් නැතිව දැනෙනවා මහ ගොඩක් බරට අද මට.